මිනිසාගේ අලුත් නෑයෙක් දකුණු අප්‍රිකාවේ ගුහාවකින්

දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග් සමීපයේ රයිසින් ස්ටාර් නමැති ගුහාවෙන් මෙතෙක් අනාවරණය නොවූ නව මානව විශේෂයක් සොයාගෙන ඇතැයි සීඑන්එන් පුවත් සේවය වාර්තා කරයි. මෙම සොයාගැනීම සිදුකැර ඇත්තේ  ජොහැනස්බර්ග් විට්වෝටර්ස්රෑන්ඩ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥයෝ පිරිසක් විසිනි. එම නව මානව විශේෂය ‘‘හෝමෝ නැලෙඩි“ ලෙස නම්කැර ඇත. ඔවුන්
මානව පරිනාමයේ දී මෙතෙක් සොයාගත් වානර හා මානව විශේෂ අතරට එය නවතම එකතුවක් බවත් මෙය ලෝක මානව වංශකතාවේ නව පෙරළියක් විය හැකි බවත් විද්‍යාඥයෝ කියති. හෝමෝ නමින් හඳුන්වන නූතන මානවයා පමණක් කරන ලැදැයි සිතන මළ සිරුරු දැවීමේ ක්‍රියාවන් මේ මානවයා ද සිදුකැර ඇතැයි පර්යේෂකයන් විශ්වාස කරයි. විද්‍යාඥයන් පවසන්නේ මේ නව මානව විශේෂය සොයාගත් ස්ථානය ඇතැම්විට ඔවුන්ගේ සොහොන් භූමියක් ද විය හැකි බවයි.
මේ සොයා ගැනීමත් සමග මානව පරිනාමය පිළිබඳ නව මාවතක් විවරවනු ඇතැයි ද පුරාවිද්‍යාඥයෝ කියති.
ගුහාව අධ්‍යයනය කළ ආදුනික භූ විද්‍යාඥයකු විසින් 2013 දී රයිසින් ස්ටාර් ගුහාවේ තිබී නූතන මානවයාට සමීප හැඩයක් ගන්නා අකු අස්ථියක ෆොසිලයක් සොයා ගැණිනි. ඒ ඔස්සේ කරණ ලද පර්යේෂණවලින් මේ මානවයා පිළිබඳ කරුණු අනාවරණය කැර ගැනීමට හැකිවූ බව පර්යේෂකයෝ කියති.
වත්මන් මිනිසුන්ගේ පාදවලට සමාන වූ තරමක් දිගින් වැඩි කකුල් සහිත නැලෙඩි මානවයා දිගු දුරක් ඇවිදීමට හොඳින් අනුවර්තනය වී සිටින්නට ඇතැයි ද මානව විද්‍යාඥයෝ කියති. අඩි පහක් පමණ සමාන්‍ය උසකින් යුතු වූ මොවුන් ගේ දෙඅත් ආයුධ සෑදීමට හැකි ආකාරයටත් හොඳින් ගස් නැගීමටත් හැකි අයුරින් අනුවර්තනය වී තිබිණි. අත් මිනිසාගේ අත්වලට බෙහෙවින් සමාන වුව ද අත්ලේ පුරුක් එකිනෙක යාවී වක්‍ර‍ ස්වරූපයකින් තිබෙන්නට ඇතැයි ද විද්‍යාඥයන්ගේ මතය වී ඇත. එම ලක්ෂණය ගස් නැගීමට හොඳ අනුවර්තනයකි. නැලෙඩිගේ හිස්කබලේ ධාරිතාව වර්තමාන මිනිස් හිස්කබලේ ධාරිතාවෙන් භාගයකට අඩුය. ඒ අනුව මේ මානවයාගේ මොළය දොඩම් ගෙඩියකට වඩා විශාල නොවූ බව ද එසේ වුවත් ඔවුන් නූතන මානවයාට විශ්මයජනක ලෙස සමානත්වයක් දක්වන බව ද පර්යේෂකයෝ කියති.
ගුහාවේ ප්‍ර‍ධාන විවිරයේ සිට මීටර 90 ක් පමණ ඈතින් තිබූ අඟල් හතක් වැනි කුඩා විවරයකින් ඇතුළු වී ගියවිට මේ මානව කොටස් හමුවී ඇත. සීඑන්එන් පුවත් සේවය පවසන්නේ ඒ අනුව මෙය ලෝකයේ මෙතෙක් සොයාගත් පුදුම සහගත සොයාගැනීමක් බවයි. එම ස්ථානයේ අස්ථි කොටස් පිරී තිබිණි. ඒවා අතර පිරිමි, ගැහුණු හා ළමයින්ගේ අස්ථි කොටස් රැසක් තිබී ඇත. විද්‍යාඥයන්ගේ මතය වන්නේ එතැන පුද්ගලයන් 1500ට පමණ අයත් අස්ථි කොටස් ඇති බවයි.
මෙතෙක් සොයාගත් පැරණිතම මානව සුසානය වසර 100,000 ක් අතිතයට දිව යයි. විද්‍යාඥයන් පවසන්නේ නැලෙඩි මානවයාගේ මේ සුසානය ඊට වඩා අතීතයට අයත්විය හැකි බවයි. නැලෙඩි තවමත් කවර කාලයක ජීවත්වූයේ ද යන්න ස්ථිර කැර ගැනීමට අවශ්‍ය කාල නිර්ණය මෙතෙක් සිදු කැර නැත.
(වේරගොඩගේ සජීව විජේවීර)
150910101735-restricted-homo-naledi-nat-geo-6-exlarge-169 - Copy
150910092424-restricted-homo-naledi-nat-geo-3-exlarge-169 150910105558-restricted-homo-naledi-foot-wits-exlarge-169 150910110718-restricted-homo-naledi-hands-wits-exlarge-169 150910111017-restricted-homo-naledi-skull-two-wits-exlarge-169 150910111447-restricted-homo-naledi-jaw-wits-exlarge-169 150910112025-restricted-homo-naledi-skull-closeup-wits-exlarge-169 150910114256-restricted-nat-geo-bones-exlarge-169
Share on Google Plus

About Unknown

0 comments:

Post a Comment